4. පාලන ප්‍රකාශ


පරිගණක ක්‍රමලේඛනයක ක්‍රියාකාරිත්වය පාලනය කරණ විධානයන්ට පාලන ප්‍රකාශ යැයි කියමු. බොහෝ පරිගණක භාෂා වල භාවිතා වන සරලම පාලන ප්‍රකාශය if condition වේ. if භාවිතයේන් දෙන ලද සංඛ්‍යවක් ඔත්තේ ද, ඉරට්ටේ දැයි දැන ගත හැකි පයිතන් ක්‍රමලේකයක් අපි සෑදුවෙමු. අපි දැන් if පාලන විධානය සමඟ භාවිතා වන else පාලන විධානය හදූනා ගනිමු. දෙන ලද පාලන ප්‍රකාශනයක අගය සත්‍ය විට දී යම් කාර්යයක් ද අසත්‍ය විට දී තවත් කාර්යයක් ද ක්‍රියාත්මක කල යුතු නම්, if සමඟ else පාලන ප්‍රකාශය භාවිතයට ගත හැකිය.
රෑපසටහන 4.1 - ඉරට්ටේ සහ ඔත්තේ සංඛ්‍යා හදුනා ගැනීම

දෙන ලද සංඛ්‍යවක් ඔත්තේ ද, ඉරට්ටේ දැයි දැන ගත හැකි පයිතන් ක්‍රමලේඛය if සහ else පාලන ප්‍රකාශ සමඟ භාවිතා කල හැකි ආකාරය රෑපසටහන 4.1 මඟින් පෙන්වා දී තිබේ. කලින් හදුන්වාදුන් පරිගණක ක්‍රමලේඛයේ ඇති if ප්‍රකාශ දෙක වෙනුවට, if සහ else පාලන ප්‍රකාශ මෙහි දී භාවිතා කර තිබේ. තාර්කික ප්‍රකාශනයේ අගය සත්‍ය විට, if සමඟ ඇති ප්‍රකාශනය ද, අසත්‍ය විට else සමඟ ඇති ප්‍රකාශනය ද ක්‍රියාත්මක වේ.

if හෝ else සමඟ ඇති ප්‍රකාශන පයිතන් හදුනා ගන්නේ අනුච්ඡේදනය මගිනි. අනුච්ඡේදනය යනු, එකම කොටසට අයත් ප්‍රකාශන එකම තීරුවෙන් ආරම්භ කිරීමය. if ප්‍රකාශය අරම්භ කර ඇති ස්ථානයට මදක් දකුණු පසට වන්නට අනෙකුත් ප්‍රකාශය අරම්භ කිරීමෙන්, එය if සමඟ බැදී ඇති බව පවසයි. මෙලෙස if සමඟ බැදී ඇති ප්‍රකාශන, if සමඟ ඇති තාර්කික ප්‍රකාශයේ අගය සත්‍ය විට පමණක් ක්‍රියාත්මක වේ. if සමඟ ඇති තාර්කික ප්‍රකාශයේ අගය අසත්‍ය විට ක්‍රියාත්මක වනුයේ else සමග ඇති ප්‍රකාශනයයි. else සමඟ ඇති ප්‍රකාශනය, else පාලන ප්‍රකාශයට මදක් දකුණු පසට වන්නට සටහන් කර තිබේ.

දැන් අපි නැවතත් ශරීර ස්කන්ධ දර්ශකය (BMI) ගනණය කල bmi.py පරිගණක ක්‍රමලේඛය දෙසට හැරෙමු. ශරීර ස්කන්ධ දර්ශකයේ (BMI) අගය 18.5 ට අඩු නම් ඔබ මන්දපෝෂනයෙන් පෙලේ. එය 18.5 සහ 25 අතර ඇතිනම් ඔබට සාමාන්‍ය සිරුරක් තිබේ. එය 25 සහ 30 අතර ඇතිනම්‍ ඔබට බර වැඩි සිරුරක් තිබේ. BMI අගය 30 ට වැඩි නම් ඔබ ස්තූලථාවයෙන් පෙලේ.

අපි දැන් කලින් සාදන ලද bmi.py පරිගණක ක්‍රමලේඛය, ඔබට ඇත්තේ කුමනාකාර සිරැරක් දැයි කිව හැකි වන ලෙස වැඩි දියුනු කරමු. ඉහත විස්තර කර ඇති පරිදි, මෙම පරිගණක ක්‍රමලේකය මඟින් සැසදිය යුතු BMI අගය පරාස හතරක් තිබේ. if සහ else විධාන වලදී සැසදිය හැක්කේ තාර්කික ප්‍රකාශන දෙකක් පමණි. තාර්කික ප්‍රකාශන දෙකකට වැඩි ගණනක් සැසදීමට අවශ්‍ය විට, if, elif සහ else පාලන විධාන භාවිතයට ගත යුතුවේ. තාර්කික ප්‍රකාශන දෙකට වැඩි ගණනක් සැසදිය යුතු නම් අපි elif පාලන විධනය භාවිතා කරමු. ඔබට ඇත්තේ කුමනාකාර සිරැරක් දැයි නිගමනය කිරීම සදහා, elif පාලන විධානය භාවිතයට ගෙන ඇති පරිගණක ක්‍රමලේඛයක් රෑපසටහන 4.2 මඟින් දැක්වේ.
රෑපසටහන 4.2 - ශරීර ස්කන්ධ දර්ශකය

මෙහි දී ප්‍රථමයෙන් bmi අගය 18.5 ට අඩු දැයි පරීක්ෂා කර තිබේ. එය 18.5 ට අඩු නම් "You are considered underweight. " යන වැකිය පරිගණක තිරයේ සටහන් කරයි. එසේ නොමැති විට දී, bmi අගය 25 ට අඩු දැයි පරීක්ෂා කර තිබේ. එය 25 ට අඩු නම් "You are fine." යන වැකිය පරිගණක තිරයේ සටහන් කරයි. ඉන් පසුව bmi අගය 30 ට අඩු දැයි පරීක්ෂා කර තිබේ. එය 30 ට අඩු නම් "You are considered overweight. " යන වැකිය පරිගණක තිරයේ සටහන් කරයි. අවසානයේ දී "You are considered obese." යන වැකිය පරිගණක තිරයේ සටහන් කරයි. මෙම පරිගණක ක්‍රමලේඛය භාවිතා කර ඔබ සහ ඔබේ මිතුරන්ට ඇත්තේ කවරාකාර සිරුරක් දැයි නිගමනය කරන්න.

ඔබ පාසලේ දී ගූණන වගුව හෙවත් චක්කරය හදාරා තිබේ. යමෙකු ඔබගෙන් 3 වරක් චක්කරය ඇසුව හොත් එය ඔබට පහසුවේන් කිවිය හැක. යමෙකු ඔබගෙන් 13 වරක් චක්කරය ඇසුව හොත් ඔබට එය පහසුවේන් කිව නොහැක. ඔබ කැමති ගුණන වගුවක් පයිතන් ක්‍රමලේකයක් මගීන් දැන් අපි පරිගණක තිරයේ සටහන් කරමු.

මේ සදහා ප්‍රථමයෙන් ලබා ගත යුත්තේ කූමන ගූණන වගුව දැයි පයිතන් විමසයි. එය x=input("Enter a number:") විධානය මගීන් සිදුකල හැකි බව දැන් ඔබ දනී. ඔබ ලබා දෙන සංඛ්‍යව x විචල්‍යයේ ගබඩා වේ. දැන් අපි x*1, x*2, x*3 .. x*9 යන ප්‍රකාශන වල අගයන් තිරයේ සටහන් කර ගත යුතුය. මේ සදහා print x*1, print x*2, print x*3 .. print x*9 ලෙස ප්‍රකාශන නමයක් දිය හැක. මෙම ප්‍රකාශන සියල්ල එකි නෙකට වෙනස් වනුයේ අවසානයට ඇති සංඛ්‍යව මඟිනි. පරිගණක ක්‍රමලේඛනයේ දී, මෙලෙස ප්‍රකාශන නමයක් ලියනු වෙනුවට, එක් ප්‍රකාශනයක් පමනක් ලියා අවසානයට ඇති සංඛ්‍යව වෙනස් කරමින් නමවරක් ක්‍රියාත්මක කල හැකිය. ඒ සදහා අපි for යන පාලන විධානය භාවිතා කරමු.

පයිතන් ක්‍රමලේඛනයේ දී for number in range(1,10): ලෙස මෙම විධානය භාවිතා කරයි. range(1,10) විධානය 1 සිට දහය දක්වා ඇති සංඛ්‍යා ලබා දේ. 1 සිට 100 දක්වා ඇති සංඛ්‍යා range(1,100) විධානය මඟින් ලබා ගත හැක. for විධානය භාවිතයේ දී මෙලෙස ලබා දෙන සංඛ්‍යා number යන විචල්‍යයට එකින් එක ආදේශ වේ. එනම් ඉහත ඇති for විධානය ආරම්භයේ දී number යන විචල්‍යයේ අගය 1 වේ. ඉන් පසුව පයිතන් for පාලන විධානය සමග බැදී ඇති අනෙකුත් ප්‍රකාශන ක්‍රියාකරවයි.
රෑපසටහන 4.3- ගුනණ වගුව

දැන් අපි රෑපසටහන 4.3 හි දැක්වෙන පරිදි for පාලන විධානය සමග print x*number යන ප්‍රකාශනය ලබා දෙමු. මෙහි දී ප්‍රථමයෙන් number යන විචල්‍යයට අගය එක ආදේශ කර print x*number යන ප්‍රකාශනය ක්‍රියාත්මක වේ. x සදහා අප ලබා දුන් අගය 3 නම්, ප්‍රථිපලය ලෙස 3 පරිගණක තිරයේ සටහන් වේ. ඉන් පසුව number යන විචල්‍යයට අගය 2 ආදේශ කරමින් print x*number යන ප්‍රකාශනය නැවත ක්‍රියාත්මක වී, ප්‍රථිපලය ලෙස 6 පරිගණක තිරයේ සටහන් වේ. මෙලෙසම number යන විචල්‍යයට අගය 3 ආදේශ කරමින් print x*number යන ප්‍රකාශනය නැවත ක්‍රියාත්මක වී, ප්‍රථිපලය ලෙස 9 පරිගණක තිරයේ සටහන් වේ. for පාලන විධානය ඒ සමග සම්බන්ධ කර තිබෙන print x*number යන ප්‍රකාශනය,  number යන විචල්‍යයට ගත හැකි සෑම අගයක් සදහාම නැවත නැවත ක්‍රියා කරවයි. මෙම උදාහරණයේ දී number යන විචල්‍යයට ගත හැකි අවසාන අගය 9 බැවින්, අවසානයට 27 පරිගණක තිරයේ සටහන් වේ.

දැන් අපි අවසාන අගයට අමතරව, 3*1=3, 3*2=6 .. 3*9=27 ලෙස පරිගණක තිරයේ සටහන් කරන්නේ කෙසේ ද? ඒ සදහා  print x*number යන ප්‍රකාශය  print x,'*',number,'=',x *number ලෙස වෙනස් කල යුතු වේ. මෙම ප්‍රකාශය ප්‍රථමයෙන් x විචල්‍යයේ අගය ද, දෙවනුව * ලකූණ ද, තුන්වනුව number විචල්‍යයේ අගය ද, හතර වනුව = ලකුණ ද, අවසානයට x*number යන ප්‍රකාශනයේ අගය ද පරිගණක තිරයේ සටහන් කරයි. එබැවින් රෑපසටහන 4.4 දැක්වෙන පරි දි දෙන ලද ඕනෑම අගයක් සදහා අදාල ගුණන වගුව ලබා ගත හැකි වේ.

රෑපසටහන 4.4 ගුනණ වගුව නැවතත්
පාසලේ දී චක්කරය පාඩම් කල ඔබ බක චක්කරය ගැන අසා තිබේ ද? රාත්‍රි කාලයට ගෙම්බන් මෙම බක චක්කරය පාඩම් කරනු ඔබ අසා ඇතුවාට සැක නැත. මිතුරන් විනෝදය සදහා විමසන බක චක්කරයේ දී බක*1=බක, බක*2=බකබක, බක*3 = බකබකබක වේ.  දැන් අපි බක චක්කරය ලබා ගැනීම සදහා පයිතන් ක්‍රමලේකයක් ලියමු. වචනයක් මත * යන මෙහෙයවුම් ලකූණ ක්‍රියාත්මක වූ ආකාරය ඔබට මතක නම් for පාලන විධානය ද භාවිතයට ගැනීමෙන් ඔබට බක චක්කරය ලබා ගත හැක.
රෑපසටහන 4.5 - බක චක්කරය

බක චක්කරය සටහන් කරණ පරිගණක ක්‍රමලේඛය රෑපසටහන 4.5 මඟින් දැක්වේ.  එම පරිගණක ක්‍රමලේඛය ක්‍රියාත්මක කර එහි ක්‍රියාකරිත්වය කෙලෙස සිදුවේ දැයි වටහා ගන්න.  ඔබේ මිතුරන්ටත් බක චක්කරය පෙන්වා විනෝද වන්න.


  


Copyright © Kasun De Zoysa 2015

0 comments:

Post a Comment