2. සරල ගණිත ගැටලු

පයිතන් ගණිත ගැටලු විසදීමට සමතෙකි. අපි සඛ්‍යා දෙකක එකතුව පයිතන් මඟින් ලබා ගනිමු.  ඒ සදහා ප්‍රථමයෙන් එකතු කල යුතු සඛ්‍යා දෙක පයිතන් දැන සිටිය යුතුය. සංඛ්‍යවක් ලබා ගැනීම සදහා, පයිතන් input විධානය භාවිතා කරයි.

එනම් number1=input("Enter your first number? ") විධානය මඟින් ප්‍රථම සංඛ්‍යාව පයිතන් ලබා ගනී. දෙවන සංඛ්‍යාව ලබා ගැනීමට number2=input("Enter your second number? ") විධානය පයිතන් මෙහෙයවුම් පැනලය තුලට ලබා දෙන්න. ඔබ ලබා දුන් ප්‍රථම සංඛ්‍යාව number1 විචල්‍යයේ ද, දෙවන සංඛ්‍යාව number2 විචල්‍යයේ ද ගබඩා වනු ඇත. රෑප සටහන 2.1 දැක්වෙන පරිදි එම සංඛ්‍යා දෙකෙහි එකතූව number1+number2 යන විධානය මඟින් ඔබට ලබා ගත හැකිය.
රෑප සටහන 2.1 - සංඛ්‍ය දෙකක මත ගණිත කර්ම

සංඛ්‍යා දෙක ගුන කිරීම සදහා දිය යුතු විධානය කුමක් ද? උත්තරය number1*number2 වේ. සංඛ්‍යා දෙකෙහි අන්තරය number1-number2 විධානය මඟින් ලබා ගත හැකි වග ඔබට වැටහෙනු ඇත. මේ අනුව පයිතන් මෙහෙයවුම් පැනලය සරල ගණක යන්ත්‍රයක් ලෙස ක්‍රියා කරණ වග ඔබට පෙනේ.
රෑප සටහන 2.2 - විචල්‍ය භාවිතය

number1+number2 විධානය දී ඇති සංඛ්‍යා දෙකෙහි එකතුව පරිගණකක තිරයේ සටහන් කරතත්, එම අගය පරිගණක මතකයේ රදවා නොගනී.  සංඛ්‍යා දෙකෙහි එකතුව පරිගණකක මතකයෙහි රදවා ගතයුතු නම්, එම අගය විචල්‍යයකට ආදේශ කල යුතු වේ.  දී ඇති සංඛ්‍යා දෙකෙහි එකතුව number3 යන විචල්‍යයට ආදේශ කල යුතු නම් number3=number1+number2 යන විධානය ලබා දිය යුතුය. මෙවැනි විධානයකට පයිතන් ප්‍රකාශනයක් යැයි කියනු ලැබේ. එනම් number1+number2 යන ප්‍රකාශයේ අගය number3 යන විචල්‍යයේ ගබඩා වේ.  පයිතන් මෙහෙයවුම් පැනලය මත විචල්‍යයක නම ඇතුලත් කිරීමෙන්, එහි ගබඩා වී ඇති අගය ලබා ගත හැකිය. රෑප සටහන 2.2 number3 විචල්‍යයේ අගය ලබා ගන්නා අයුරු පැහැදිලි කර දේ.

දැන් පයිතන් ඔබගේ උස අගල් වලින් දැන ගැනීමට කැමතිය.  height=input("Enter your height in inches? ") විධානය මඟින් පයිතන් ඔබගේ උස අගල් වලින් විමසයි. ඔබගේ උස අගල් වලින් දැන ගත් පසු, එය මිටර වලට පරිවර්ථනය කිරීම සදහා කුමන විධානය  ලබා දිය යුතු ද? අඟල් එකක් යනු මිටර 0.0254 කි.  height*.0254 ප්‍රකාශනය ඔබගේ උස මීටර වලින් පවසනු ඇත.

උස දැන ගත් පයිතන් ඔබගේ බර කිලෝග්‍රැම් වලින් දැන ගැනීමට කැමතිය. weight=input("Enter your weight in kg? ") විධානය මඟින් පයිතන් ඔබගේ බර කිලෝග්‍රැම් වලින් විමසයි. ඔබගේ බර කිලෝග්‍රැම් වලින් දුන් පසු, එය රාත්තල් වලට පරිවර්ථනය කිරීම සදහා කුමන විධානය  ලබා දිය යුතු ද? කිලෝග්‍රැම් 1 යනු රාත්තල් 2.2 කී. weight*2.2 ප්‍රකාශනය ඔබගේ බර රාත්තල් වලට පරිවර්ථනය කරනු ඇත.

පයිතන් ක්‍රමලේඛනයේ දී, ** යන මෙහෙයුම් ලකුණ  දෙන ලද සංඛ්‍යව එම සංඛ්‍යවෙන්ම කීවරක් ගුන කල යුතු දැයි පවසයි. විචල්‍යයේ අගය x නම් x හී 5 බලය හෙවත් x*x*x*x*x හි අගය x**5 මඟින් ලබා ගත හැක.  

සමචතුරශ්‍රයක පැත්ක දිග ලබා දී, එහි වර්ගඵලය ගණනය කීරීමට දිය යුතු පයිතන් විධානයන් මොනවා ද? length=input("Enter length of the square?) විධානය මඟින් සමචතුරශ්‍රයෙහි දිග පයිතන් ලබා ගනී. ඉන් පසු length**2 ප්‍රකාශනය මඟින් වරිගඵලය ලබා ගත හැකිය.

ශරීර ස්කන්ධ දර්ශකය (Body Mass Index - BMI) යනු ඔබ තරබාරු පුද්ගලයකු දැයි දැන ගත හැකි මිනුමකි. ඔබගේ බර කිලෝග්‍රැම් (kg) වලින් ද, උස මීටර (m) වලින් දී ඇති විට, ශරීර ස්කන්ධ දර්ශකය (BMI) = බර/(උස*උස) වේ. ඔබගේ BMI අගය ලබා ගැනීමට කුමන පයිතන් විධාන දිය යුතු ද?  

රෑප සටහන 2.3 - BMI අගය ගණනය කිරීම
මේවන විට, ඔබගේ උස height යන විචල්‍යයේ ද, බර weight යන විචල්‍යයේ ද රදවා තිබේ. උස අඟල් වලින් ලබා ගෙන ඇති අතර, බර ලබා ගෙන ඇත්තේ කිලොග්‍රැම් වලිනි. BMI  අගය ගණනය කිරීම සදහා ඔබගේ උස මීටර වලින් ලබා ගත යුතු වේ. අඟල් වලින් දී ඇති ඔබගේ උස, මීටර වලින් ලබා ගන්නා අයුරු අපි දනිමු. මෙයට පෙර එම අගය ගණනය කර පරිගණක තිරයේ සටහන් කලද, එම අගය විචල්‍යයක රදවා නොගත්තෙමු. bmi අගය ලබා ගැනීම සදහා, ප්‍රථමයෙන් ඔබගේ උස මීටර වලින් ගණනය කර, height_in_m යන විචල්‍යයේ ගබඩා කරමු. ඒ සදහා, height_in_m=height*.0254 යන ප්‍රකාශනය ලබා දිය යුතුය.

පසුව BMI අගය bmi=weight/height_in_m**2 යන ප්‍රකාශනය මඟින් ගණනය කල හැක. ඔබ ගණනය කර ගත් BMI අගය, bmi විචල්‍යය තුල ගබඩා වි තිබේ. එම අගය print bmi විධානය මඟින් පරිගණක තිරයේ සටහන් කර ගත හැක. print bmi විධානය වෙනුවට, පයිතන් මෙහෙයවුම් පැනලය තුල bmi ලෙස විචල්‍යයේ නම ඇතුලත් කිරීම මඟින් ද, එහි අගය ලබා ගත හැකිය.

පයිතන් ක්‍රමලේඛනයේ දී, % යන මෙහෙයුම් ලකුණ, සංඛ්‍යවක් තවත් සංඛ්‍යවකින් බෙදූ පසු ඉතිරි වන අගය ලබා දේ. එබැවින් % යන ලකූණ, මාපාංක මෙහෙයවුම් ලකුණ ලෙස හැදින් වේ. පයිතන් මෙහෙයවුම් පැනලයට 7%4 ලබා දුන් පසු, උත්තරය ලෙස 3 ද, 10%6 ලබා දුන් පසු උත්තරය ලෙස 4 ද ලැබෙනු ඇත.
රෑප සටහන 2.4 - පාසල් නිවාසය තීරණය කිරීම

පාසල් මලල ක්‍රීඩා උලෙල සදහා ඔබ අයත් නිවාසය තීරණය කල අයුරු ඔබට මතකද? ඔබ අයත් නිවාසය, පාසලට ඇතුලත් කිරීමේ අංකය මත තීරණය වේ. පාසලට ඇතුලත් කිරීමේ අංකය හතරෙන් බෙදූ පසු, එකක් ඉතිරි වේ නම් ඔබ තිස්ස නිවසට ද, දෙකක් ඉතිරි වේ නම් ඔබ විජය නිවසට ද, තුනක් ඉතිරි වේ නම් ඔබ ගැමුණු නිවසට ද, කිසිවක් ඉතිරි නොවේ නම් ඔබ පැරකුම් නිවසට ද අයත් යැයි සිතමු. ඔබගේ පාසලට ඇතුලත් කිරීමේ අංකය ලබා ගෙන, ඔබ අයත් නිවාසය සොයා දීමට කූමන පයිතන් විධාන, පයිතන් මෙහෙයවුම් පැනලයට ලබා දිය යුතු ද? 

registration_number=input("Enter your registration number? ") විධානය මඟින් ඔබගේ ඇතුලත් වීමේ අංකය පයිතන් ලබා ගනී. එම අංකය හතරෙන් බෙදූ පසු ඉතිරි වන අගය registration_number%4 ප්‍රකාශනය මඟින් ලබා ගෙත, ඔබ අයත් නිවාසය තීරණය කල හැකිය. රෑප සටහන 2.4 දැක්වෙන පරිදි, ඔබේ ඇතුලත් වීමේ අංකය 15768 නම් ඔබ අයත් වනුයේ පැරකුම් නිවසටය. මෙලෙස ඔබට ඔබේ මිතුරන් අයත් නිවාසයද සොයා දිය හැකිය.

මෙලෙස පයිතන් මෙහෙයවුම් පැනලය, ගණිත ගැටලු සරලව විසදිමට  භාවිතා කල හැක. ඔබගේ වෙනත් සංකීර්ණ ගණිත ගැටලු ද, පයිතන් මෙහෙයවුම් පැනලය මඟින් සරලව විසදා ගැනීමට උත්සාහ ගන්න.



Copyright © Kasun De Zoysa 2015

0 comments:

Post a Comment