1. ආයුබෝවන් පයිතන්

ඉංජිනේරුවන් සහ වෛද්‍යවරයන් වීමට සිහින දකින පාසල් දරුවන් අතර පරිගණක විද්‍යාඥයන් වීමට සිතන දරුවන් දුලබය. පරිගණක ක්‍රීඩා කරමින් අන්තර් ජාලයේ රස්තියාදු ගසන අපේ දරුවෝ පරිගණක විද්‍යාඥයන් වීමට නොසිතති. ඉංජිනේරුවන් සහ වෛද්‍යවරයන් වීමට සිතති. පරිගණක ක්‍රීඩකයින් සහ අන්තර් ජාල රස්තියාදු කරැවන් වෙනුවට,  පරිගණක ක්‍රීඩා සහ අනෙකුත් පරිගණක මෘදුකාංග නිපදවන, පරිගණක විද්‍යාඥයන් අපි බිහි කළ යුතු වෙමු. මෙය ඒ සදහා දරණ උත්සාහයකි.

පරිගණක විද්‍යාඥයන් ලෙස සිතීමට දරුවන් හුරු කීරීම තරමක් අසීරු වේ. එම අසීරු කර්ථව්‍යය පයිතන් මඟින් ඉටු කර ගැන්මට මම බලාපොරොත්තු වෙමි. සැබෑ ලොවෙහි දී දරුණු සර්පයකු වන පයිතන්, පරිගණක ලොවෙහි දී ඉතා සරළ සවිමත් පරිගණක භාෂාවකි. 

රෑප සටහන 1.1:පයිතන් වෙබ් අඩවිය
පරිගණක ලොවෙහි ඇති ජාවා වැනි පරිගණක භාෂාවක් සමඟ සැසදී මේ දී, පයිතන් සැබෑ සමතෙකි. පේලි දහයක ජාවා පරිගණක ක්‍රමලේඛකයක කර්ථව්‍යය, පේලි තුනක පයිනන් ක්‍රමලේඛකයකට කළ හැකිය.

1991 වසරේ දී, නෙදර්ලන්ත ජාතිකයකු වූ Guido van Rossum, පයිතන් පරිගණක භාෂාව ලොවට හදුන්වා දුන්නේය. ඔහු 1960 දශකයේ විකාශනය වූ Monty Python යන විකට ප්‍රසාංගයේ රසිකයකු වු බැවින්, තම පරිගණක භාෂාව පයිතන් ලෙස හැදිවීය. 

www.python.org වේබ් අඩවිය මඟින් ඔබේ පරිගණකයට මෙම භාෂාව බාගත (download) හැකිය. බොහෝ Linux පරිගණක පද්ධති තුල පයිතන් පරිගණක භාෂාව පිහිටුවා තිබේ. Windows පරිගණක භාවිතා කරන්නන් www.python.org වේබ් අඩවිය මඟින් පයිතන් දෙවන සංස්කරණය ලබා ගන්න (රෑප සටහන 1.1). පයිතන් තුන්වන සංස්කරණය නිකුත් වී තිබුනද බොහෝ පරිගණක පද්ධති තවමත් පයිතන් දෙවන සංස්කරණය භාවිතා කරණ බැවින්, අපි ද එය භාවිතා කරමු.

රෑප සටහන 1.2:පයිතන් මෙහෙයවුම් පැනලය  
පයිතන් ක්‍රමලේඛය ක්‍රියාත්මක කීරීමට, ඔබගේ පරිගණක මෙහෙයවුම් පද්ධතියේ මෙහෙයවුම් පැනලය (terminal) ලබා ගන්න. බොහෝ Linux පරිගණක වල Ctrl + Alt + T  යතුරු එකවර භාවිතා කිරීමෙන් මෙහෙයවුම් පැනලය ලබාගත හැකිය.

එය තුලට python විධානය ලබා දීමේන් පයිතන් මෙහෙයවුම් පැනලය (python terminal) ලබා ගත හැක. >>> ලෙස පෙන්වුම් කරණුයේ පයිතන් මෙහෙයවුම් පැනලයයි. මෙම පයිතන් මෙහෙයවුම් පැනලය තුලට ඔබට අවශ්‍ය පයිතන් විධානයන් එකින් එක ලබා දිය හැකිය.

ප්‍රථමයෙන් print "Ayubowan" යන විධානය පයිතන් මෙහෙයවුම් පැනලය තුලට අපි ලබා දෙමු. රෑප සටහන 1.3 දැක්වෙන පරිදි, පයිතන් ඔබට ආයුබෝවන් කියනු ඇත. print විධානය උද්දෘථ පාඨ ඇතුලත ඇති වැකිය පරිගණක තිරයේ නැවත සටහන් කරයි. එනම් print "Ayubowan Python" විධානය, ආයුබෝවන් පයිතන් යන වැකිය පරිගණක තිරයේ සටහන් කරනු ඇත.  මෙලෙස පයිතන් මෙහෙයවුම් පැනලය තුල ඔබ කැමති විවිධ වැකි සටහන් කරන්න.

රෑප සටහන 1.3 - ආයුබෝවන්

දැන් පයිතන් ඔබගේ නම දැන ගැනීමට කැමතිය. name=raw_input("Enter your name: ") යන විධානය මගින් පයිතන් ඔබගේ නම විමසයී. raw_input යනු දත්ත ලබා ගැනීම සදහා භාවිතා වන විධානයයි. එම විධානයේ දීමේදී වරහන් තුල සදහන් වන වැකිය මෙහෙයවුම් පැනලයේ එලෙසම සටහන් වේ. 



ඔබේ නම ඇතුලත් කළ විට, පයිතන් එය පරිගණක මතකය තුල තබාගනී. ඔබගේ නම තබා ගනු ලබන ස්ථානය name ලෙස නම් කර තිබේ. පරිගණක ක්‍රමලේඛනයේ දී, name යන්න විචල්‍යයක් (variable) ලෙස හැදින්වේ.  පරිගණක මතකය තුල විවිධ අගයන් රදවා ගැනීමට විචල්‍යය භාවිතා කරයි. 

පරිගණක ක්‍රමලේඛනයේ දී, =” යන ලකුණ  පැවරුම් ලකුණ (assignment mark) ලෙස හැදින්වේ. එම ලකුණ මඟින් දකුණු පස ඇති ප්‍රකාශනයේ (expression) අගය වම් පස ඇති විචල්‍යයට (variable) ආදේෂ කරයි. මෙහිදී යතුරැ පුවරැව මඟින් ලබා දෙන ඔබගේ නම  name යන්න විචල්‍යයයට ආදේශ වේ. එනම් ඔබ දෙන ලද නම පරිගණක මතකයේ name ලෙස නම් කර තිබෙන ස්ථානයක තබා ගනී.
රෑප සටහන 1.4 - ආයුබෝවන් ඔබට


ඔබේ නම name විචල්‍යයේ තිබේ දැයි බැලීමට print විධානය යොදා ගත හැක. print විධානය සමග විචල්‍යයක නම ලබා දුන් විට, දෙන ලද විචල්‍යයේ අගය පරිගණක තිරයේ සටහන් කරයි. එබැවින් print name විධානය මගින්, ඔබ දෙන ලද නම නැවත පරිගණක තිරයේ ලියවේ. 

එසේ නම් print "Ayubowan "+name යන පයිතන් විධානය පරිගණක තිරයේ කුමක් සටහන් කරනු ඇතිද?

එම විධානය ලබා දුන් පසු, රෑප සටහන 1.4 හී දැකිවෙන පරිදී පයිතන් ඔබට අයුබෝවන් කියනු ඇත. + යන ලකුණ වැකි දෙකක් එකතු කීරීමට භාවිතා කරයී. පරිගණක ක්‍රමලේකණයේ දී එය මෙහෙයවුම් ලකූණක් ලෙස හැදින් වේ.

රෑප සටහන 1.5- ආයුබෝවන් ආයුබෝවන්

මෙහෙයවුම් ලකූණු පැහැදිලි කර ගැනීම සදහා print "Ayubowan "*2 යන විධානය ද දී බලන්න. * යන මෙහෙයවුම් ලකුණ ඉදිරියෙන් ඇති වැකිය පරිගණක තිරයේ නැවත නැවත සටහන් කරයි.  පරිගණක තිරයේ Ayubowan යන වැකිය දෙවරක් සටහන් කිරීමට "Ayubowan "*2 ලෙසද, තුන්වරක් සටහන් කිරීම සදහා "Ayubowan "*3 ලෙස ද විධාන ලබාදිය හැකිය. 

පරිගණකයට ලබා දුන් ඔබේ නම පස්වරක් සටහන් කීරීම සදහා, දිය යුතු විධානය කුමක් ද? 
උත්තරය print name*5 බව ඔබට වැටහෙනු ඇත.

පරිගණක තිරයේ දෙවරක් ආයුබෝවන් කියා, පසුව ඔබේ නම සටහන් කළ යුතු නම්, කුමන විධානය දිය යුතු ද?උත්තරය print "Ayubowan "*2+name විය යුතුය. මෙලෙස විවිධ වැකි raw_input විධානය මඟින් ලබා ගනිමින්, ඒවා + සහ * මෙහෙයවුම් ලකුණු භාවිතා කර විවිධාකාරයට පරිගණක තිරය මත සටහන් කරන්න. උදාහරණයක් ලෙස ඔබගේ මිතුරා ගේ නම පයිතන් වෙත හදුන්වා දී, ඔබ දෙදෙනා මිතුරන් බව ලොවට කියන්නේ කෙසේ දැයි සිතා බලන්න.




Copyright © Kasun De Zoysa 2015

3 comments:

  1. Thank you sir . you are a great man !!!

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. Python Gana wisthara thiuena PDF book ekak thiyenw nm mail ekak dannako sir Loku udawwak

    ReplyDelete